top of page
< Back

ප්‍රධාන නියාමකගේ පණිවිඩය

2019 අප්‍රේල් 23 | නවතම ප්රවෘත්ති

දැඩි ශෝකයකින් පසු, අප ප්‍රතිචාර දක්වන ආකාරය සහ ඉදිරියට යන ආකාරය අපගේ ජාතිය වෛරය දෙසට ගමන් කරන්නේ ද නැති ද යන වග තීරණය කරනු ඇති බැවින්, අපි අපි ගැනම සියුම් විමසිල්ලකින් සිටිය යුතුයි. ‘‘නැඟී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් අප යයි සුන් වී’’ කියන කතාව සැබෑවකි.

ප්‍රධාන නියාමකගේ පණිවිඩය

දැඩි ශෝකයකින් පසු, අප ප්‍රතිචාර දක්වන ආකාරය සහ ඉදිරියට යන ආකාරය අපගේ ජාතිය වෛරය දෙසට ගමන් කරන්නේ ද නැති ද යන වග තීරණය කරනු ඇති බැවින්, අපි අපි ගැනම සියුම් විමසිල්ලකින් සිටිය යුතුයි. ‘‘නැඟී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් අප යයි සුන් වී’’ කියන කතාව සැබෑවකි.

ද්වේෂයේ ආත්මය ජාතියක්, වර්ගයක්, මුහුණුවරක් නොදනී. කතෝලික දේවස්ථාන, හෝටල් සහ සංචාරක අවකාශයන් ඉලක්ක කර ගෙන සිදු කළ මෙම මෑත කාලීන ප්‍රහාරවලින්, පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට සහභාගී වෙමින් සිටි ක්‍රිස්තියානි හා කතෝලික බැතිමතුන්ගේ ජීවිත හා ඔවුන්ගේ ආදරණීයන් අහිමි වුවත්, ගොදුරු වූ බොහෝ දෙනෙක් ඇත්ත වශයෙන්ම බෞද්ධයන්, මුස්ලිම්, හින්දු සහ අදේවවාදීන්. මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට හෝ අවම කිරීමට පවා හැකිව තිබූ බව සිතීම දරාගත නොහැකි තරම් වේදනාකාරීය.

පාස්කු ඉරිදා මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයට සතියකට වඩා වැඩි කාලයකට පෙර ඔවුන්ට ලැබුණු අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බලධාරීන්ගේ තිබූ නොසැලකිලිමත්කමට හේතුව, සුළුතර ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ ක්‍රමවත්ව සංවේදී නොවීම විය හැකියි. ශ්‍රී ලාංකේය කිතුනුවන් ජීවත් වී ඇත්තේ මූලික අයිතිවාසිකම්වලින් තොර අනතුරුදායක තත්ත්වයක බව කවුරුත් දන්නා කරුණකි. සරලවම ගත් කළ බොහෝ ප්‍රදේශවල, පොදු සුසාන භූමිවල මළවුන් මිහිදන් කිරීම, ඔවුන්ගේ දේවස්ථාන ඉදිකිරීම හෝ අලුත්වැඩියා කිරීම ආදියට ප්‍රචණ්ඩ ලෙස විරෝධය එල්ල වේ. එවැනි ප්‍රහාරවලින් පසු දේවගැතිවරුන් සහ ඇදහිලිවන්තයන් පොලිසියට ගිය පසු පොලිස් පරීක්ෂණ සහ ප්‍රතිචාර මන්දගාමී වීම හෝ සම්පූර්ණයෙන්ම අවලංගු වීම සිදු වී ඇත. වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වුවද බලධාරීන් ප්‍රතිචාර දක්වන ආකාරය ගත් කළ, ප්‍රහාර සිදුකිරීමට නියමිත බවට පෙර තොරතුරු තමන් සතුව තිබූ නමුත් එය මෙතරම් පරිමාණයෙන් සිදුවනු ඇතැයි නොසිතූ බව ඔවුන් පෙන්වා දීම, එයට උදාහරණයකි. මෙය ප්‍රශ්න දෙකක් මතු කරයි,
1) ‘කුඩා’ මැර ප්‍රහාරවලට සහ ප්‍රචණ්ඩත්වයේ තර්ජනවලට ප්‍රතිචාර නොදක්වන්නේ නම්, මහා පරිමාණ ප්‍රහාර පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් පිළිබඳව වෙනස් ආකාරයකට ප්‍රතිචාර දක්වන්නේ ද? සහ
2) පාර්ලිමේන්තුවට, ඇමති නිවාසවලට, පන්සල්වලට සහ අනෙකුත් “ඉහළ ප්‍රමුඛතා” ඇති ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල වන බවට බුද්ධි තොරතුරුවලින් කල් තබා පෙන්වා දුන්නේ නම්, බලධාරීන්ගේ ප්‍රතිචාරය මීට වඩා වෙනස් වේද?

ශ්‍රී ලංකාවේ නිදහස් කිතුනු සභා ආවරණය කිරීම, ආරක්‍ෂා කිරීම, අනුශාසනා කිරීම සහ අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාව හේතු කොටගෙන 2015 දී ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය (ADC) සිය ක්‍රියාකාරීත්වය නැවත පණ ගැන්වීය. එය ලබා දෙන උපදේශනය සහ ආරක්ෂාව නිසා වසරකට අඩු කාලයක දී කිතුනු සභා 600කට වඩා වැඩි ප්‍රමාණයක් අප සාදරයෙන් පිළිගනු ලැබීය. රජයේ ඇතැම් ඉහළ පෙළේ නිලධාරීන්, කිතුනු අයිතිවාසිකම් කෙරෙහි අනුකම්පාසහගත බවක් දක්වා ඇති නමුත්, අවාසනාවකට එය බිම් මට්ටමේ ආරක්ෂක කටයුතු සිදු කරන ආයතන වෙත පෙරී ගොස් නැත. කරදරයට පත් වූ සුළුතරයකගේ විලාපයන් නීතිය ක්‍රියාත්මක කරන ශ්‍රේණිවල බිහිරි කන්වලට සහ ලිපිගොනු මතට වැටුන ද , සංවේදීතාවයකින් තොරව මෙම රාජ්‍ය ආයතන එම තර්ජනවල විශාලත්වය ද නොසලකා, ඒවා පිළිබඳව අවදියෙන් සිටීමට අඩපණ කරයි. ශ්‍රී ලංකාව පුරා ඇති පොලිස් ස්ථාන හිංසාවට ලක්වන කිතුනුවන්ගෙන් පැමිණිලි ලබා ගැනීමට කෙසේ පුරුදු වී ඇත්ද යත්, වෙනස් කොට සැලකීම සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ මෙම චෝදනා බොහොමයක් සම්බන්ධයෙන් සහය දක්වන බවට පෙන්නුව ද ඒවාට ඵලදායී ප්‍රතිචාරයක් ලැබෙන්නේ කලාතුරකිනි. කිතුනුවන්ගේ මූලික අයිතිවාසිකම් සහතික කිරීම සඳහා අවශ්‍ය සුපරීක්ෂාකාරී විමර්ශන සහ ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට, බොහෝ විට ඉහළ නිලධාරීන් සහ අමාත්‍යවරුන් සම්බන්ධ කර ගෙන බලපෑම් කිරීමට සිදු වේ.

ආදර්ශමත් නායකත්වයක් ලබා දෙන ලෙසත්, බෙදීම් හා වෙනස්කම් සිදු නොකර සිහිකල්පනාවෙන් යුතුව ඔවුන්ගේ භූමිකාවන් ඉටු කරන ලෙසත් අපි අපේ ජාතීයේ නායකයින්ගෙන් ඉල්ලා සිටීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ පුරවැසියයෝ සහ පදිංචිකරුවෝ සමස්තයක් ලෙස මෙම හදිසි තත්ත්වය තුළ ඔවුන්ට ලබා දෙන ආරක්ෂාව පිළිබඳව ඕනෑකමින් යුතුව බලා සිටිති. ජාතික ආරක්ෂක මණ්ඩලයේ මුලසුන හොබවන ජනාධිපතිවරයා, සියලු කිතුනුවන්ට ආරක්ෂාව ලබා දෙන බව පැහැදිලිව ප්‍රකාශ කරන්නේ නම්, එය අපට ධෛර්යයක් වනු ඇත.

බොහෝ නිදහස් සභාවන් ඔවුන්ගේ සේවාවන් නවතා දමා ඇති අතර තවමත් අවදානමට ලක්ව සිටියි. නමුත් මේ වන විටත් ඔවුන්ට ඇති තර්ජන කිසිවෙකුගේ අවධානයට ලක් නොවී හෝ නොසලකා හරිනු ලබා ඇත. වැඩි ඡන්ද සංඛ්‍යාවක් අඩංගු අපගේ විශාල නිකායේ සහෝදරයන් සඳහා පමණක් ආරක්ෂාව සැලසීම දිගු කාලීනව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකරනු ඇත. සුළුතර සහ දුර්වල හඬට සමාන අවධානයක් දීමට, ඉහළ බලධාරීන් දැඩි “දේශපාලන අධිෂ්ඨානයක් (Political Will)” පිළිපදිමින් ශක්තිමත් බවක් පෙන්වන්නේ නම්, එය ආගමික වෛරයේ බරපතලකම අවබෝධ කර ගැනීමට සහ සුපරීක්ෂාකාරී වීම උදෙසා පෙළගැසීමට සංවේදීත්වයක් ඇති කරනු ඇත. දිවයින මූර්තිමත් කරන්නා වූ අන්තර් ආගමික සහජීවනය සවිමත් කිරීම සඳහා ඉහළ සිට පහළට ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වේ.

නිදහස් සභා වසර ගණනාවක් මුළුල්ලේ හෝටල්, නගර ශාලා සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානවල රැස්වන්නේ බොහෝ විට ඔවුන්ට තමන්ගේම ව්‍යුහයක් නොමැති බැවිනි. ත්‍රස්තවාදී ප්‍රහාර ආකර්ෂණය වන්නේ අවදානමට ලක්විය හැකි අනාරක්ෂිත කණ්ඩායම් වෙතටයි. ප්‍රහාරක අභිප්‍රායන්ගෙන් කොටසක් පැහැදිලිවම සමස්ත ක්‍රිස්තියානීන් ඉලක්ක කර ගනිමින් සිටිය දී, වඩාත් අතිප්‍රමුඛ පංතිය පමණක් ආරක්ෂා කිරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් වනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ වූ පුනරාවර්තනයකි. කිතුනුවන්ට පැමිණෙන පීඩාවන් මෙතෙක් නොසැලකිලිමත් ලෙස හසුරුවා ඇති බැවින්, මෙම කොටසෙහි අවදානම අන්තවාදී සහ ත්‍රස්තවාදී වෛරී සෛලවලට ප්‍රයෝජන ගැනීමට හැකි ආකර්ෂණීය කොටසක් වූවා විය හැකිය. මෙම ප්‍රහාරය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට එක් හේතුවක් විය හැක්කේ, කිතුනුවන් අනාරක්ෂිත, අවදානමට ලක්විය හැකි ඉලක්ක බව කවුරුත් දන්නා බැවින්, ඔවුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සංවිධානය කිරීම සරල වන නිසා විය හැකිය. ප්‍රහාරය පිළිබඳ පූර්ව වාර්තාව විශාල බලධාරි මණ්ඩලයක් විසින් නොසලකා හරිනු ලැබුවේ මන්ද යන්න වර්තමානයේ දැවෙන ප්‍රශ්නය වන අතර, බලධාරීන් සාමාන්‍යයෙන් කිතුනුවන්ට එරෙහි තර්ජන නොසලකා හරින බව හෝ නොමඟ යවන අයුරින් මඟ හරින බව සලකන විට, සිදු වූ දෝෂය වටහා ගැනීම පහසු වේ.

ආගම් වෛරය පීඩා ගෙනෙන්නේ අපගේ කුඩාම ජන කොටසකට වුවත්, එය ඉතා බරපතළ ලෙස සලකන බවට රජය පැහැදිලිවම ප්‍රකාශ කළ යුතු කාලයයි මේ. දැනුවත්භාවය තුළින් සංවේදී බව ගොඩනැගිය යුතුය. බහුතර අයිතිවාසිකම් මෙන්ම සුළුතර අයිතිවාසිකම් ද එකම හා සමාන උද්යෝගයකින් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම අවශ්‍ය වේ, එසේම එක හා සමාන හැඟීමෙන් හා ඵලදායීතාවයෙන් පිටුබලය ලබා දීමට “දේශපාලන අධිෂ්ඨානයක් (Political Will)” තිබිය යුතුය; රජය සියලු පුරවැසියන්ට සමාන ලෙස සැලකිලි ලබා දෙන විට එය යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක හිතකර ලක්ෂණයකි.
ජාතියක් වශයෙන්, අන් අයගේ විශ්වාසයන් කෙරෙහි අප නොඉවසිලිමත් වන්නේ මන්ද යන්න පිළිබඳව වඩාත් සංකීර්ණ සංවාදයක් ඇති කර ගැනීමටත්, අපගේ හදවත් ගැඹුරින් සොයා බැලීමටත් මේ සුදුසුම කාලයයි. අපි අපේම අගතීන් සහ අප ජාතිය ගොඩනඟන්නේ කෙසේද යන්න පිළිබඳවත්, සෑම ජාතියකටම සහ ඇදහිල්ලකටම සමාන පාර්ශවකරුවෙක් ලෙස බියෙන් තොරව ඉඩ දීම පිළිබඳවත් නොසලකන්නේ නම්, අපි බෙදුණු ජාතියක් අනාගත පරම්පරාවට ඉතිරි කරන්නෙමු.

අද මධ්‍යස්ථ මුස්ලිම්වරුන් විරෝධයක් පිළිබඳව බියෙන් පසුවන්නේ, එක් කණ්ඩායමකට සමස්ත ප්‍රජාවම අන්තගාමීන් යැයි අපකීර්තියට පත් කළ හැකි බැවිනි. ශ්‍රී ලංකාවට අයත් සහ ආදරය කරන බොහෝ දෙනෙකු ඔවුන්ගේම රටවැසියන්ට බියෙන් හැර යන්නේ ඔවුන් ආරක්ෂිත බවත්, අනතුරට පත් විය හැකි ප්‍රතිප්‍රහාරවලට ගොදුරු නොවන බවත් ඔවුන්ට සහතික වන සංවාදයට අපි කාලය නොගත් නිසාය. මෙම ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ කිතුනුවන්ගෙන් මෙය සිදුවීමට ඉඩ නොදිය යුතුය. මෙම සුන්දර දිවයින අලංකාරයෙන් සැරසී ඇති කණ්ඩායම් ගැඹුරෙන් අවබෝධ කර ගැනීම සඳහා වන සංවේදීතාව පිළිබඳව සංවාදය අපි වැලඳ ගත යුතු වේ. අපි රටක් ලෙස ආපස්සට නොයන්නට නම්, ප්‍රගතිශීලී ආගමික සහ දේශපාලන නායකයින් එකට වාඩි වී අන්‍යෝන්‍ය අයිතිවාසිකම් තේරුම් ගැනීම සහ එකිනෙකාගේ යහපැවැත්ම පිළිබඳ වග උත්තර කිම කළ යුතුය. අවම දේශපාලන බලයක්වත් නොමැති මෙම දිවයිනේ කුඩාම සුළුතරයට පවා, තවමත් සමස්තයටම අදාළ මූලික අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සලසා දිය යුතුය. කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට කිසිවක් අඩුවෙන් හිමි විය යුතු නැත.

අපගේ නිරන්තර හෘදයාංගම යාච්ඤා සහ සහයෝගය බලපෑමට ලක් වූ සෑම කෙනෙකුටම - සියලු සම්භවයන් සහ ඇදහිල්ලේ ආනුභාවයෙන් හිමි වේවා!

කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා
ප්‍රධාන නියාමක
ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය

bottom of page